2018 දී සිදු වූ අනපේක්ෂිත තරග පරාජයන් හේතුවෙන් A කාණ්ඩයේ සිට B කාණ්ඩය දක්වා අඩියක් පිටුපසට තැබීමට ධර්මරාජ විද්‍යාලයීය පළමු පෙළ රග්බි කණ්ඩායමට සිදු වුණා. එනමුත් 2019 ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම B කාණ්ඩයේ පෙරළිකාර තරග ජයග්‍රහණයන් කිහිපයක්ම වාර්තා කර ගනිමින් හුරු පුරුදු A කාණ්ඩයට නැවතත් කණ්ඩායම රැගෙන යන්නට සමත් වුණා.

නැවත වතාවක් A කාණ්ඩයේ අභියෝගය භාරගත් 2020 ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම විසල් ජූඩ්ගේ නායකත්වයෙන් හා ප්‍රවීන් ජයවික්‍රමගේ උපනායකත්වයෙන් සවිමත් වුණා. වයස අවුරුදු 14 න් පහළ කාණ්ඩයේ සිට ධර්මරාජය වෙනුවෙන් රග්බි ක්‍රීඩා කළ ජටිල කපුවත්ත, බානුල විතානගේ, තේනුක ඒකනායක, M.S. නිරෝධ් විජේසිරි, M.S.N. විජේසිරි, H.G. ප්‍රවිශ්ක ගමගේ, R.K. බියන්වල වැනි දක්ෂ ක්‍රීඩකයින් රැසක් 2020 කණ්ඩායමට සිය වෙහෙස මහන්සිය එකතු කළා.

විශේෂයෙන්ම මෙම ක්‍රීඩකයින් වයස අවුරුදු 16 න් පහළ ධර්මරාජ කණ්ඩායම නියෝජනය කරන සමයේ දී ප්‍රබල කණ්ඩායම් වලට දැවැන්ත අභියෝගයන් එල්ල කළ ක්‍රීඩකයින් ලෙසද නම් දරා තිබුණා. මෙම ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින් බොහොමයක් 2019 වසරේදී ධර්මරාජ විද්‍යාලය B කාණ්ඩයෙන් නැවතත් A කාණ්ඩයට ගෙන ඒමට ඇප කැප වී ක්‍රීඩා කල ක්‍රීඩකයින් බව අනිවාර්යයෙන් සදහන් කළ යුතුයි.

කණ්ඩායමේ නායක විසල් ජූඩ් අපත් සමග සදහන් කර සිටියේ එවන් ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් තමන් හට සිටින පසුබිමක් තුළ නායකයා වශයෙන් තමන්ගේත්, තම කණ්ඩායමෙත් එකම අභිප්‍රාය වී තිබුයේ කෙසේ හෝ අන්තර් පාසල් ලීග් රග්බි කුසලානය ධර්මරාජයට රැගෙන ඒම බවයි. ඒ සදහා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ඉතා වෙහෙසකර කැපකිරීම් කල බවත්, උපරිමයෙන් තම කාලය, ශ්‍රමය වැය කළ බවත් ඔහු පවසා සිටියා.

එවන් ජයග්‍රාහී අරමුණකින් ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම 2020 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය සදහා 2019 සැප්තැම්බර් මාසයේදී සිය පුහුණුවීම් ආරම්භ කළා. එම පුහුණුවේ කොටසක් වශයෙන් ධර්මරාජ ක්‍රීඩකයින්ට විශේෂ කාර්ය බළකා කඳවුරකදී විශේෂ පුහුණුවක් ද ලබා දීමට ආදි ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමය කටයුතු සම්පාදනය කර තිබුණා. මීට අමතරව තවත් වැදගත් පුහුණු සැසි කිහිපයක්ම පාසල හා ආදී ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංගමය එක්ව සංවිධානය කෙරුණා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික රග්බි කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කර තිබුණු ලසිත ඩි කොස්තා වැනි ප්‍රබල පුහුණුකරුවකු ප්‍රධාන පුහුණුකරු වශයෙන් හා අත්දැකීම් බහුල බුද්ධික අබේසිංහ සහය පුහුණුකරු වශයෙන් ද කණ්ඩායම හා එක්වී තිබීම සැබවින්ම ධර්මරාජයට ශක්තියක් වූ බව නොරහසක්.

2020 වසරේ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ධර්මරාජය සහභාගී වුණු පළමු තරගය වූයේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමග පැවති තරගයයි. 2020 වසරේ මාර්තු 5 වනදා එම තරගය ශාන්ත පීතර ක්‍රීඩාංගණයේදී පැවැති අතර තරගය සදහා ධර්මරාජයෙන් මනා වූ සංයුතියකින් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට පුහුණුකරුවන් හා විද්‍යාලයීය රග්බි බළධාරීන් වගබලා ගෙන තිබුණා. 2020 තරගාවලියේ ධර්මරාජය වෙනුවෙන් වාර්තා කළ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට එම තරගයේ නොම්බර 8 ක්‍රීඩා කළ බානුල විතානගේ සමත් වීම සුවිශේෂයි.

ධර්මරාජය තම දෙවන තරගය සදහා මනා සූදානමින් සිටියේදී එනම් 2020 මාර්තු මස 11 වනදා මෙරට ප්‍රථම කොවිඩ්-19 රෝගියා වාර්තා වීමත් සමගින් 2020 පාසල් රග්බි ලීගයේ පැවැත්වීමට තිබූ සියළු තරග අවලංගු කිරීමට තීරණය කෙරුණා. එම නිසා ධර්මරාජ ක්‍රීඩකයින්ගේ දක්ෂතා දැක බලා ගැනීමට තිබූ අවස්ථාවන් ද එම වසරේදී අනපේක්ෂිත ලෙස ක්‍රීඩා ලෝලින්ගේන් ගිලිහී ගියා.

කෙසේ වුණත් ධර්මරාජ නාමය ඉහළින් ඔසවා තැබීම සදහා සිය දහදිය කඳුළු වැය කරමින් වෙහෙස වූ 2020 ධර්මරාජ පළමු පෙළ රග්බි කණ්ඩායම මුළු මහත් ධර්මරාජයටම සැබෑ ආඩම්බරයක්.

පිටපත හා නිර්මාණය : යසජ රංගන සමරනායක