වසර දෙකක දීර්ඝ ‍පාසල් රග්බී සංක්‍රාන්තික යුගයකින් පසු 2022 පාසල් රග්බි ලීගය ආරම්භ වීමට ඇත්තේ තවත් සති කිහිපයකී.

ධර්මරාජය 2022 රග්බි ලීගය සදහා සුපුරුදු පරිදි A කාණ්ඩයේ ක්‍රීඩා කිරීමට නියමිත අතර ඒ සදහා මේ වන විටත් අදාල තරග කාල සටහන් සියල්ල නිකුත් කල හමාරය.

මෙරට ප්‍රභල රග්බි පුහුණුකරුවකු මෙන්ම හිටපූ ශ්‍රී ලංකා 19 න් පහළ රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ ලසිත ඩී කොස්තා මෙවර ධර්මරාජයේ ප්‍රධාන පුහුණුකාරීත්වයේ වගකීම තම කර මතට ගෙන ඇත. එයට බුද්ධික අබේසිංහ සහය පුහුණුකරු ලෙස තම දායකත්වය දක්වයි.

මෙවර කණ්ඩායමේ සම නායකත්වය සෞම්‍ය විජේසිරි හා තේනුක වික්‍රමසිංහ යන දෙපල විසින් උසුලනු ලබයි.

ප්‍රධාන පුහුණුකරු අප සමග අදහස් දක්වමින් කියා සිටියේ මෙවර ලීගය සදහා ධර්මරාජ කණ්ඩායම ඉතා හොද සූදානමකින් පසු වන බවයි. මෙවර ලීග් කුසලානය එසවීමට ඔහුගේ පාර්ශවයෙන් අවශ්‍ය සියලූම සහය මේ වන විටත් කණ්ඩායමට ලබා දෙමින් පවතින බවත්, පසුගිය කාල සීමාවේ රට තුළ උද්ගත වූ අනපේක්ෂිත තත්වයන් හේතුවෙන් කණ්ඩායම සදහා පැවත් වීමට අදහස් කර තිබූ පුහුණු සැසි කිහිපයක්ම තමන්ට පැවැත්වීමට නොහැකි වූ බවත් ඔහු පැවසුවා.

කෙසේ වෙතත් මෙවර ජේෂ්ඨ ක්‍රීඩකයින් 8 දෙනකුගෙන් හා නවක මුහුණු කිහිපයකින් යුත් සමබර කණ්ඩායමක් ධර්මරාජය සතුව පවතින බව හා මෙවර ලීග් කුසලාන කෙසේ හෝ ධර්මරාජයට ගෙන ඒමට මේ වන විටත් ඒ සියලූම දෙනා ඉතා ඕනෑකමින් යුක්තව පුහුණුවීම් කටයුතු වල නිරත වන බවයි ප්‍රධාන පුහුණුකරු වැඩි දුරටත් සදහන් කළේ.

කණ්ඩායමේ සම නායකත්වය හොබවන සෞම්‍ය විජේසිරි ද තම අදහස් පළ කරමින් කියා සිටියේ වසර ගණනාවක් තමන් ඇතුළු තම කණ්ඩායම පුන පුනා බලා සිටි අවස්ථාව එළබෙන තෙක්.

එනම් මෙවර පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ වන තුරු නොඉවසිලිමත් කමින් හා ඉතා ඕනෑකමින් යුතුව බලා සිටින බවයි. තමන්ට තරග වැදීම සදහා හමුවන කිසිදු කණ්ඩායමක් සුළුවෙන් තැකීමට තමා ඇතුළු කණ්ඩායම කටයුතු නොකරන බව හා මේ වන විටත් තනි තනි වශයෙන් සියලූම කණ්ඩායම් සම්භන්ධයෙන් මනා වූ අවබෝධයකින් පසුවන බවයි ඔහු කියා සිටින්නේ.

කණ්ඩායමේ අනෙක් සම නායකයා වන තේනුක වික්‍රමසිංහ ද අප සමග කියා සිටියේ
මෙවර මහනුවරින් පිට පැවැත්වීමට තිබෙන තරගයන් දෙක හා සත්කාරකත්වය දක්වන තරගයන් තුන ජයග්‍රහණය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සියලූම දෙනා හට තිබෙන බවත් පැවති පුහුණු තරගාවලි තුළදී සියළුම දෙනාට තම අඩුපඩුකම් නිවැරදි කර ගැනීමට මගගු පිටිවහලක් ලැබීම නිසාම එම සියලූම තරගයන්ට ඉතා හොදින් මුහුණ දීමට හැකියාවක් කණ්ඩායම සතුව පවතින බවයි.

වැඩි දුරටත් අදහස් පළ කර කණ්ඩායම් නායකයින් කියා සිටියේ ආදි ධර්මරාජිකයින්ගේ රග්බි පාපන්දු සංසදයේ කැපවීම ඉතා ප්‍රසංසනීය හා විශිෂ්ඨ බවයි.

ධර්මරාජ රග්බි ක්‍රීඩාවට පන්නරය ලබා දුන් සැමගේ අවසන් බලාපොරොත්තු ප්‍රතිපලය වන තරග ජයග්‍රහණයන් ලබා ගනිමින් ඔවුන්ව සතුටු කිරීමට ඉතා ඕනෑකමක් කණ්ඩායමේ සියලූම ක්‍රීඩකයින්ට ඇති බවත් ඔහු කියා සිටියේය.

කණ්ඩායම් කළමනාකරු වන තරිදු රත්නායක ද අප සමග අදහස් දක්වමින් කියා සිටියේ ධර්මරාජය සතුව මෙවර හොද කණ්ඩාමක් සිටියත් , රට තුළ පැවති අර්බුධකාරී තත්වයන් හේතුවෙන් තරග නොපැවැත්වීම නිසා ක්‍රීඩකයින්ට අත්දැකීම් මදි කමක් පවතින බවය.
ඔහු වැඩි දුරටත් අවදාරණය කර දුන්නේ එය ධර්මරාජ කණ්ඩායමට පමණක් නොව දිවයිනේ අනෙකුත් සෙසු සියලූම පාසල් සදහා ද පොදු වූ කාරණයක් බවයි.

එසේම ඔහු දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් කියා සිටියේ දක්ෂතා වලින් පරිපූර්ණ ක්‍රීඩකයින් රැසක් ධර්මරාජය තුළම සිටියත් ධර්මරාජ විද්‍යාලය අධ්‍යාපනික අංශයෙන් දිවයිනේ කැපී පෙනෙන විශිෂ්ඨතම කේන්ද්‍රස්ථානයක් වීම නිසාම සිසුන් ක්‍රීඩාවට යොමු වීමේ ගැටළුවකට මුහුණ දෙමින් පවතින බවයි.

කෙසේ හෝ සියලු ගැටළු කළමනාකරණය කර ගනිමින් මෙවර ලීගය සදහා හොද කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට කණ්ඩායම් කළමනාකාරිත්වය හා ප්‍රධාන පුහුණු කරුවන් ඇතුළු සෙසු සියළු දෙනා වගබලාගන්නා බවයි ඔහු කියා සිටියේ.

පිටපත හා නිර්මාණය : යසජ සමරනායක